Dec 27, 2011

විභාග ප්‍රතිඵල අතීතය පුරාම වැරැදිය. ඊට සැබෑ හේතුව මෙයයි.




මෙවර උසස් පෙළ ප්‍රතිඵල අවුල සම්බන්ධයෙන් රටම කැළඹී ඇත. ඒත් විභාග කොමසාරිස් ජනරාල් පවතින්නෙ වැරැද්ද නිවැරැදි කල බවත් වළං කඩේට පැන්න ගොන්නු වගේ හැසිරීමෙන් වලකින ලෙසත්ය.

ඒත් මේ විභාග දෙපාර්තමේන්තුවේ ප්‍රතිඵල වැරැදුණු පළමු අවස්ථාවද? මීට පෙර එක වතාවක්ද මේ කොමසාරිස් ජනරාල් වරයා යටතේම ඕඑම්ආර් අවුලක් ඇතිවිණ. ඒ අවස්ථාවේද කොම්පියුටර් මත වරද පටවා විභාග දෙපාර්තමේන්තුවත්, තමාත්, වැරැදි කල නිලධාරිනුත් ආරක්ෂා කිරීමට මොහු කටයුතු කළේය.

එහෙත් එම අවස්ථාවේද පරිගණක වල කිසිදු අවුලක් නොතිබුණු අතර අපරිනත නිලධාරීන්ගේ වරදින් එය සිදුවී තිබිණ. දේශපාලන හයිය මත විභාග කොමසාරිස් ජනරාල්වරයා තමන්ගේ තනතුර රැක ගත්තේය.

එම වරද සිදුවූයේ මෙම අවස්ථා දෙකේ පමණක්ද?
නැත. එය දිගින් දිගටම සිදුවී ඇත. එහෙත් වැඩේ චොර වෙන්නම ලීක් වූයේ මේ අවස්ථාවන් දෙකේදී පමණි. ඊට හේතුව වී ඇත්තේ එදා සිටම විභාග දෙපාර්තමේන්තුවේ පරිගණක ආශ්‍රිත ප්‍රතිඵල සැකසීම් සම්බන්ධයෙන් කටයුතු කරන ලද්දේ තොරතුරු තාක්ෂණය පිළිබඳ සුදුසුකම් ලත් නිලධාරීන් නොවේ. පරිගණක භාවිතය පටන් ගත් අවදියේදී දේශපාලන හයිය මත පත්වීම් ලබා ගත් නිලධාරීන් පිරිසක් විසින් පරිගණක ආශ්‍රිත රාජකාරී වල යොදවන ලදි. ඒත් මෙම නිලධාරීන්ගෙන් බහුතරයක් විභාග දෙපාර්තමේන්තුවේ එවැනි පත්වීමක් ලබන විට අවම වශයෙන් පරිගණක වැඩසටහන් වල වැඩ කිරීම කෙසේ වෙතත් රේඩියෝ එකක්වත් දාන්න නොදැන සිටි අයයි. ඉන් පසු මේ නඩයෙන් කිහිප දෙනෙකුම දෙපාර්තමේන්තු මුදල් වලින් විදේශ රටවල් වල පුහුණුවීම් වලට පවා සහභාගි කරවා ඇත. ඒත් උපන්ගෙයි මෝඩයන් වූ මෙම නිලධාරීන්ට ඒ පුහුණුවීම් වලින්වත් නිවැරැදිව පරිගණක වැඩසටහන් මෙහෙයවීමට හැකියාව ලැබුණේ නැත.  

මෙවැනි භාරදූර්ය කාර්යභාරයක් පැවැරිය යුත්තේ වගකිව යුතු ආයතනයක් විදියට තොරතුරු තාක්ෂණය පිළිබඳ ඉහළ සුදුසුකම් ලත් අයවලුන්ටය. ඒත් දැනටත් විභාග දෙපාර්තමේන්තුවේ පද්ධති විශ්ලේෂක හෝ වෙනත් තොරතුරු තාක්ෂණයට අදාල තනතුරු දරන්නන් ලංකාවේ විශ්ව විද්‍යාලයක තොරතුරු තාක්ෂණය පිළිබඳ උපාධියක් ලැබූ අය නොවේ. ඔවුන්ගෙන් වැඩිදෙනෙක් දත්ත සටහන් ක්‍රියාකරු ලෙස දේශපාලන පත්වීම් ලැබ පසුව හිටපු විභාග කොමසාරිස්වරුන්ගේ ගොම්පස් අල්ලා උසස්වීම් මත පරිගණක වැඩසටහන් ක්‍රියාකරුවන් බවට පත්වූවන්ය.

තොරතුරු තාක්ෂණය මෙතරම් දියුණු සමයක මේ පප්පලා පැත්තකට කර අලුත් පරපුරේ පරිගණක වැඩසටහන්කරුවන් පත් කිරීමට මෙතෙක් දෙපාර්තමේන්තුව උත්සාහ කර නොමැත්තේ විභාග ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධව කිසිම වගකීමක් නැති ආකාරයටය.

එසේම මීට අමතර වශයෙන් නැවත සමීක්ෂණ වලදී ප්‍රතිඵල වෙනස් වන ප්‍රතිශතය පසුගිය වසර වල ඉහළ ප්‍රතිශතයක් ගත්තේය. එසේ වන්නේ කොහොමද? නැවත සමීක්ෂණ සඳහා අයදුම් කරන්නේ ඉතාම සීමිත පිරිසකි. ඒ සීමිත පිරිස තුළත් සැලකිය යුතු ප්‍රතිශතයක ප්‍රතිඵල වෙනස් වන්නේනම් විභාග උත්තර පත්‍ර ඇගැයීම් කාර්යයේදී පවා  අසීමති වගකීමක් රහිතව කටයුතු කර ඇත. එසේම බොහෝ විට නැවත සමීක්ෂණ වලදී විභාග උත්තර පත්‍ර යළි සම්පූර්ණයෙන් ඇගයීමකට ලක්කරන්නේ නැත. එසේ කරන්නේ අහඹු ලෙස ගත් ඒවා පමණි. බොහෝ විට නැවත සමීක්ෂණ වලදී ලකුණු එකතු කිරීම් නැවැරැදිද යන්න පමණක් පරීක්ෂා කිරීම සිදු කරයි.

මේ කරුණු අනුව විභාග දෙපාර්තමේන්තුවේ සැලකිය යුතු ඉතිහාසයක සිට නිකුත් වූ විභාග ප්‍රතිඵලයක් සම්පූර්ණ ශුද්ධ ප්‍රතිඵලයක් ලෙස සැලකිය නොහැක.

දැනට වුවද සිදුවන වැරැදි නිවැරැදි කිරීම වෙනුවට නිලධාරීන් ආරක්ෂා කිරීමත් බොරු කීමත්, වගකීමෙන් නිදහස් වීමත් විභාග දෙපාර්තමේන්තුව සිදු කරන එකම කාර්යයයි.

කොහෙදෝ තැනක කවුරු හරි ලියා තිබී කියවන්නට ලැබුණා මෙහෙම දෙයක්,
විභාග දෙපාර්තමේන්තුවේ විභාග ප්‍රතිඵල වැරැදි සහගතව නිකුත් කරන්නේ රජයේ වරදකින් නොවේ. එය 70, 80 දශකයේ පවා සිදුවී ඇත. නැත්නම් එස්.බී. වැනි ගොන් තඩියෙකු විශ්ව විද්‍යාලයකට තේරීමට ඉඩක් නැත කියල.

ඇත්තෙන්ම ඒ උපහාසය තුළ විශාල සත්‍යයක් ගැබ්වී ඇත. එස්බී මෙන්ම උගතුන් ලෙස පෙනී සිටින ආණ්ඩුවේ බහුතරයක් හැසිරෙන විදියට ඔවුන්ගේ උගත්කම විභාග දෙපාර්තමේන්තුවේ වරදකින් සිදුවූවක් කියා නොසිතා බැරිය.

සමහර විට සමහරුන් චෝදනා කල ලෙසම මැතිවරණ දෙපාර්තමේන්තුවේ පරිගණක වැඩසටහන් සම්පාදනය කරන්නේද මෙවැනි අම්බරු පරිඝණක නිලධාරීන් කොටසක්ද යන්න සැක සහිතය.

සුබ අනාතගතයක්

Dec 15, 2011

හිස් කළගෙඩි හිසින් රැගෙන එළිය දකින්නයි අපි යන්නේ..




ඇය මා සේවය කරන ‍ස්ථානයේම සේවය කරන නිලධාරිනියකි. මේ දවස් වල හිටු කියල ඇය ඇගේ පශ්චාත් උපාධිය සඳහා වෙහෙසේ.
පුරාණ චිත්‍ර සහ මූර්ති පිළිබඳ පර්යේෂණාත්මක නිබන්ධනයක් සැකසීම ඒ සඳහා ඇයට ලැබී ඇති පැවරුමකි.
ඇයට පළමුව විශ්ව විද්‍යාලයෙන් ලබා දී තිබුණේ මා කිසිදා නම අසා නැති මට මතකත් නැති ඌව පළාතට අයත් වන යාල ප්‍රදේශයට ආසන්න පුරාණ ගල්‍ ලෙනක් පිළිබඳවයි. ඇය ඒ පිළිබඳව මගෙන්ද කරුණු විමසන ලද අතර එය පවතින තැන පිළිබඳ පමණක් අන්තර්ජාල පරීක්ෂාවකදී මට සොයා ගත හැකිවිය. එහෙත් එහි ගල්ලෙන් වල පවතින චිත්‍ර හෝ මූර්ති පිළිබඳ කිසිදු ලියවිල්ලක් අන්තර්ජාලයේ නොතිබිණ. ඒ පිළිබඳ ඇය පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙන්ද කරුණු සොයා බලන ලද නමුත් එහිද එම ස්ථානයේ ඇති චිත්‍ර හෝ මූර්ති ගැන කරුණු කිසිවක් නොමැති බව අනාවරණය විය.
ඉතින් මම ඇයට යෝජනා කළේ
ඔයාගෙ වැඩේට අපි කිහිප දෙනෙක් සෙට් වෙලා ගිහින් කරුණු හොයමු කියාය.
ඒත් ඇය කීවේ ගෙදරින් එච්චර දුර යන්න දෙන්නෙ නෑ කියාය.

පසු දිනක ඇය පරිගණක තිරයේ පැරැණි ගල්ලෙන් ආශ්‍රිත චිත්‍ර මූර්ති කිහිපයක් පරීක්ෂා කරනු දුටු මා විමසා සිටියේ,
ඔයාට අර කියපු තැන ඒවද ඔය ලැබුණේ
නෑ මම තැන වෙනස් කරගත්ත කතා කරල
එතකොට ඕක තියෙන්නෙ කොහෙද
මේක තියෙන්නෙ අම්පාර කිට්ටුව සියඹලාන්ඩුව පැත්තෙලු
එතකොට දැන් යන්ද මේක බලල කරුණු හොයන්න
නෑ මම පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙන් කරුණු හොයාගත්තා
එතකොට ඔයා නිබන්ධනයක් හදන්නෙ අඩුම ගාණෙ මේ ගල් ලෙන දැකලවත් නෙවෙයිද?
නෑ ඕවගෙ යන්න බෑ
එතකොට ඔය පුරා විද්‍ය දෙපාර්තමේන්තුවේ තියෙන ටිකම කොපි කරලද ඔයා උපාධි නිබන්ධනය හදන්නෙ
ඔව් එහෙම තමයි ඔක්කොම අය කරන්නෙ
එතකොට ඒක නියම පර්යේෂණයක් වෙන්නෙ නෑනෙ. අඩුම ගාණෙ තමන් පර්යේෂණය කරන්නෙ මොකක්ද කියලවත් දැනගෙන ඉන්න එපැයි. ඒක තියෙන්නෙ කොහෙද, ඒකට යන්නෙ කොහොමද? පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තියෙන තොරතුරු කොයිකාලෙ ඒවද, ඒ තොරතුරු සහ දැනට සැබවින්ම ඒ ස්ථානයේ පවතින වෙනස්කම් මොනවද?, විශේෂයෙන්ම ඔය කියන ප්‍රදේශය පසුගිය සමයෙ මායිම් ගම්මාන වලට අයිති වුණ තැනක් වගේ පේන නිසා කොටි ත්‍රස්තවාදය නිසා එතැනට යම් හානියක් වෙලාද? එහෙම නැත්නම් එයින් පසු සංවර්ධන ව්‍යාපෘති වලදි එතැනට යම් හානියක් වෙනවද? ඒ ස්ථානය විනාශ වීමට හේතුවන යම් පරිසර හෝ පුදගල සාධක තියෙනවද? ඒ ගැන අවට වෙසෙන මිනිස්සුන්ගෙන් විමසන්නෙ නැද්ද? ඔය ස්ථානය ගැන අතීත ජනප්‍රවාද වගේ දේවල් තියෙනවද කියල ඒ පැත්තෙ ගිහින් හොයල බලන්නෙ නැද්ද?

ඇය නිරුත්තරය.
එහෙම කරන්නෙ නෑ කවුරුවත් ඇගේ පිළිතුරයි.

එතකොට දැනටම ලියවිලා තියෙන තොරතුරු ටිකක් නැවත වෙනස් විදියට සැකසීම වෙනුවෙන්ද විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධිය ඇයට හිමි‍වෙන්නෙ. අඩුම වශයෙන් තමන් පර්යේෂණ නිබන්ධනය හදන ස්ථානය ඇහැකින්වත් දැකල නැතුව කරන පර්යේෂණය කොයි වගේ දෙයක්ද? මගේ හිතේ ඒ ප්‍රශ්ණය තවමත් පවතියි.

අධ්‍යාපනය විසින් සැබෑ උගතුන් බිහිකල යුතුයි. ඒත් ඒ වෙනුවට නිකම්ම කොතනක හෝ තිබෙන තොරතුරු ටිකක් පිටපත් කිරීමේ පර්යේෂණ හරහා සැබෑ පර්යේෂකයන් උගතුන් බිහිවෙන්නේද? ඔවුන් නිකම්ම තමන් සත්‍ය වශයෙන්ම දන්නේ නැති කිසිවෙක් විසින් සොයාගත් කරුණු තමන්ගේ කරගෙන එය තමන්ගේම නිබන්ධනයක් ලෙස සකසමින් සතුටු වෙයි. මේ උගත්කමට හෘද සාක්ෂියක් තිබේද?

ලංකාවෙ බොහෝ උගතුන් මේ වගේ කට පාඩම් උගත්තු හෝ පිටපත් කරන උගත්තු බවට පත්වීම පුදුම වෙන්නට කාරණයක් නෙවෙයි. ප්‍රායෝගික සීමාව පවතින්නේ ඔවුන්ගෙන් ගවු ගණනක් දුරිනි.
ඉතින් මෙසේ බිහිවන රෙඩිමේඩ් උගතුන් මුල් තැන් ගත් ලංකාවේ සමාජ ව්‍යුහය මේ තරම්වත් අවුල් ජාලයක් වී නතර වී තිබීමද පුදුමයකි. ඇත්තෙන්ම රාජ්‍ය අංශයේ හැම තැනකම සිදුවන දේවල් කොයි තරම් ළාමකද, අදූරදර්ශීද කියන එකත්, ප්‍රධානීන්ගේ පුද්ගලික ආශාවන් මත එවැනි පරිපාලනමය තීරණ පැමිණෙන බවත් දකින විට මේ අධ්‍යාපන ක්‍රමවේදයේ ඉතාම ගැඹුරු දුර්වලතාවයක් ඇති බව පෙනේ.
මේ අධ්‍යාපනයෙන් කෙනෙක්ගේ හෘද සාක්ෂිය තහවුරු නොවේ. අධ්‍යාපනයක පළමු අර්ථය විය යුත්තේ හෘද සාක්ෂියක් බිහිවීමයි. මොකක් හෝ කරල කඩදාසි සහතිකයකින් සමාජ තත්වයක් ලබා ගැනීමට වඩා ‍ඉගෙන ගන්නා දෙයින් හෝ අභියෝගයට ලක්වන දැනුමෙන් කඩදාසි සහතිකයක් නොලැබුවත් හෘද සාක්ෂියක් ඇති මිනිසෙකු බිහිවේනම් එය සැබෑම අධ්‍යාපනයකි.