May 15, 2011

ඇදුරන්ගේ වර්ජනය සහ අපි



නැවත වරක් විශ්ව විද්‍යාල හරහා කුණාටුවක් ඇරැඹී ඇත. විශ්ව විද්‍යාල ආචාර්ය මණ්ඩලය වැටුප් වැඩි කරන ‍ලෙස ඉල්ලා දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට අවතීර්ණ වීමට සැලසුම් කරයි. ඒ අතරතුර විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලයන්ද තමන්ගේ වැටුප්ද වැඩි කරන ලෙස ඉල්ලා වෘත්තීය ක්‍රියාමාර්ග වලට යාමට කැසකවන පෙරමග ලකුණු පෙන්නුම් කරයි.

මේ සියල්ලන්ම තමන්ගේ ඉල්ලීම් සාධාරණ බවට හේතු කාරණා ඉදිරිපත් කරයි. ඇත්තෙන්ම එම හේතු කාරණා පිළිගත හැකි මට්ටමක පවතියි. ඒත් ඒ ඔවුන්ගේ පුද්ගලික මානසික තත්වයන් සැලකීමේදීය. එහෙත් රටක්, ජනතාවක් විදියට සලකන විට ඔවුන්ගේ ආකල්ප සාධාරණද යන්න කිසිවෙක් මේ‍ වෙන තෙක් කතා කර නැත. කතා කරන්නේද නැත. මෙහිදී රට යනුවෙන් සලකනු ලබන්නේ භූමිය නොවේ. රට යනු එහි වෙසෙන සමස්ත ජනතාවයි. ඔවුන්ගේ හදවත්වල රිද්මයයි.

සත්‍ය වශයෙන්ම අද වන විට මිනිස්සුන්ගේ ජීවන තත්වයන් පහතට ඇද වැටී ඇති බව පෙනෙන ඇත්තකි. එහෙත් ඒ විශ්ව විද්‍යාල කාර්ය මණ්ඩලයන්ට අයත් මිනිස් ප්‍රජාවේ පමණක් නොවේ.
වැටුප් ප්‍රශ්ණය සලකන විට මීට දශක හතරකට පමණ ඈතට ගොස් විමසා බැලුවහොත් අද තරම් අසාධාරණ වැටුප් ව්‍යුහයක් නොපැවතිණ. විෂමතාවයන් අවම විය. නිදහසින් පසු අපේම ස්වාධීන රාජ්‍යයක් ලෙස ගොඩනැගෙද්දී එය රටට මෙන්ම ජනතාවට ආදර්ශමත් විය. එකල අවම සහ උපරිම වැටුප් අතර පරතරයන් ඉතාම අඩු විය. 1:2 ක් වන පරතරයක් පවා දැකිය හැකි වූයේ සීමිත ක්ෂේත්‍රයන් කිහිපයක් අතර පමණි. ඇත්තෙන්ම ගොඩනැගෙන රටකට, ජාතිකයකට ඒ විෂමතාවයන් පවා ඕනෑවට වැඩි තත්වයකි. එහෙත් ගෙවී ගිය දශක හතරක පමණ කාලය තුළ මේ විෂමතාවයන් අධික ලෙස වැඩිවෙමින් ඉස්මතු විය. රාජ්‍ය ආයතන තුළ පැහැදිලිව පන්ති දෙකක් හෝ තුනක් නිර්මාණය වන්නට එය හේතු විය. මුල් කාලයේ දේශීය උගතුන් විරල විය.

අධ්‍යාපනයේ අර්ථය විය යුත්තේ නූගත් අසරණ ජනතාවට සාධාරණ සේවයක් සැපයීමය. මනුෂ්‍යත්වය ගොඩනැගීමය. එහෙත් දකුණු ආසියාවේ හොඳම අධ්‍යාපන තත්වය පෙන්නුම් කලද ගෙවීගිය යුගයන් පුරා සිදුවූයේ ප්‍රතිවිරුද්ධ අන්තය වෙත මේ සියල්ල විස්තීර්ණ වීමය. මනුෂ්‍යත්වය තව තවත් බෙදීමට ලක්වීමය.

රාජ්‍ය තන්ත්‍රය සැදී පවතින්නේ ‍දේශපාලකයින්ගේ සහ උගතුන්ගේ එකමුතුවක් ලෙසය. දේශපාලකයින් දේශපාලනික නායකත්වය සපයයි. උගතුන් වූ විද්වත් පාර්ශ්වයන් පරිපාලන ව්‍යුහයේ මුල් තැන් හොබවයි. විශ්ව විද්‍යාලය විසින් ඊට අවශ්‍ය උගතුන් නිශ්පාදනය කරයි. මේ දෙකොට්ඨාශයෙන් නිමවන රාජ්‍ය බලයේ රඳා පැවත්ම මත බලපෑම් කරන දෙවන පාර්ශ්වයන් වන්නේ ආගමික ආයතන, ජනමාධ්‍ය සහ කලාකරුවන් බව පසුගිය සමය පුරා රටේ සිදුවුණ හැම සිදුවීමකදීම ප්‍රත්‍යක්ෂ විය. මේ රාජ්‍ය ව්‍යුහය හොබවන්නන් සහ දෙවන පාර්ශ්වයන්ගේ අතේ නැටවෙන රූකඩ බවට පොදු මහජනතාව පත් වන්නේය. එබැවින් දේශපාලකයින්ගේ ක්‍රියාකාරකම් කෙරෙහි මහජනයාගේ පිළිගැනීම ගොඩනගන්න උගතුන් සහ දෙවන පාර්ශ්වයන් අසීමිත මෙහෙවරක් සපයයි. ඔවුන්ද එකිනෙකා දේශපාලන පක්ෂ අනුව වරින් වර පිල් බෙදෙයි. එවිට තරාදියේ වැඩි පැත්තට බහුතර මහජන පෙළගැස්ම අනිවාර්යයෙන්ම සිදුවෙයි. මන්ද රාජ්‍ය බලය ඒකරාශී වන තැනට නාභිගත නොවූවොත් විනාශයට හේතු වන බව මහජන හදවත් වල සුපුරුදු බිය මතක් කර දෙයි. තමන් අත නොගැසූ ව්‍යුහයන්ගෙන් යැපෙන්න සිදුවන විට ස්වාධීන වීමට සාමාන්‍ය මිනිසුන්ට ක‍ල නොහැක්කේ එය ජීවිතය සහ මරණය අතර ගැටඵවක් වන බැවිනි.

කවදත් මේ කෙළින් සිට නොගත් මහජන බිය හැසිරවීම මගින් තමන්ගේ අවශ්‍යතා සඵල කර ගැනීම ඉහත දැක්වූ සියඵ පාර්ශ්වයන්ගේ සහජ ලක්ෂණයකි. මෙරටෙහි මෙතරම් විෂමතාවයන් පැන නගින්න හේතු වූයේ එබැවිනි. මේ සියඵ පාර්ශ්වයන් සාමාන්‍ය පොදු ජන මනස ඉක්මවූ බුද්ධිමතුන්ය. උගතුන්ය. එහෙත් ඔවුන් ආරම්භයේ තිබුණාට වඩා දැවන්ත විෂමතාවයන් ඇති කරමින් සිටියි.

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ප්‍රශ්ණයද එවැන්නකි. අතීතයේ ඉතාම අවම පරතයක්, විෂමතාවයක් සහිත වූ වැටුප් ව්‍යුහයන් අද වෙද්දි අහස පොළොව මෙනි. පුංචිම සේවකයා මාසයක් වැඩ කර පවුලක් රකින්න ගන්නා වැටුප වගේ හතර පස් ගුණයකටත් වඩා ඉහළ වැටුපක් උගත්කම හෝ ‍ෙද්ශපාලනික බලයෙන් තනතුරු වලට පත්වූවන් විසින් ලබා ගනියි. පුංචිම සේවකයාට ලැබෙන වැටුප වගේ තුන් ගුණයක් විතර සමහර ඉහළ නිලධාරීන් ඉන්ධන වියදම් ලෙස වැටුපට අමතරව ලබයි. එහෙත් මේ සියඵ විෂමතා ඇති කරන රාජ්‍ය ව්‍යුහයන්ගේ මුල් තැන් හොබවන්නේ සහ සියඵ ක්‍රමවේදයන් සකසන්නේ දේශපාලකයින් සහ උගතුන්ය.
ඇත්තෙන්ම අධ්‍යාපනය හරහා ශික්ෂණය වූ මිනිසෙක් බිහිවෙයි නම් ඔවුන් මනුෂ්‍යත්ව‍ෙය් අසීමිත බෙදීමක් වෙනුවෙන් පෙනී නොසිටියි. ඔවුන්ට තමන්ට එතනට එන්න අවශ්‍ය පහසුකම් සැපයීමට රජයට බදු ගෙවමින්, ශ්‍රමය වගුරවමින් වෙහෙස වුණු මහජනයා ගැන අසීමිත ආදරයක් තිබිය යුතුය. එහෙත් දේශපාකලයින් සමග එක්ව මෙරටෙහි සකසා ඇති සෑම ව්‍යුහයක්ම වාගේ සාමාන්‍ය පොදු මනුෂ්‍යත්වය පීඩාවට, අසරණභාවයට, සූරාකෑමට ලක් කරන්නකි. ඒ සෑම ව්‍යුහයකම පොදු මනුෂ්‍යත්වය ඉක්මවා ගිය පාර්ශ්වයන්ට සලකන්නේ වෙනම හැන්දකිනි. ඒ ඇයි? සාමාන්‍ය ජනතාවගේ ආකල්ප, කැමැත්ත හසුරවන විද්වත් පාර්ශ්වයන්ට කෙළින්ම දේශපාලන පාර්ශ්වයන්ට බලපෑම් කල හැකිය. ඒ මේ දෙපාර්ශ්වයන්ම එකම කාසියේ දෙපැත්ත වන බැවිනි. එකෙකු නැතිව අනෙකාට පැවතිය නොහැක. මේ නිශේධන හැකියාව රාජ්‍ය සේවයේ වැටුප් පරතරයන් ඉහළ යන්නට හේතු විය. දැන්ද සිදුවෙමින් පවතින්නේ එයයි.

1980 පැවති වැඩ වර්ජනයෙන් පසුව සාමාන්‍ය වෘත්තිකයින් වැටුප් වෙනුවෙන් වැඩ වර්ජන දියත් කරන්න අපොහොසත් විය. එම වැඩ වර්ජනය ඔවුන්ට පෙන්වා දුන්නේ තමන් එළියට දමන විට තව සියයක් එතැනට එන්න සිටින බව මිස කිසිදා වැටුප් අරගලය ජය නොලබන බවය. එලෙසින්ම 1980 වැඩ වර්ජනයෙන් සාමාන්‍ය වෘත්තිකයෝ තම රැකියා අහිමි කර ගත්තේය. පාලකයෝ තමන්ගේ හිතවාදීන්ට දේශපාලනික රැකියා ලබා දීමට එය අවස්ථාවක් කර ගත්තේය. එහෙත් කෙලින්ම කාසියේ අනෙක් පැත්ත වන රාජ්‍ය පැවත්මට බලපෑම් කල හැකි වෘත්තිකයින් හුදෙකලා අරගල වලින් තමන්ගේ වැටුප් වැඩි කරගත්තේය. ඒ වැඩි කරන විට ඊට සාපේක්ෂව රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් වැටුප් ව්‍යුහයන් සකසන විද්වත් පාර්ශ්වයන් තමන්ගේ පතටද ලොකු හැන්දකින් බෙදා ගත්තේය. වෛද්‍ය, හෙද, විශ්ව විද්‍යාල අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල, තැපැල් හා සෞඛ්‍ය සේවය‍ මෙසේ බලපෑම් කල හැකි කොට්ඨාශයන් විය. ඔවුන් එළියට ඇද දමා වෙන අයට කඩුමුඩියෝ රැකියා ලබා දිය නොහැක. එබැවින් අදිමදි කර හෝ රජයන්ට ඔවුන්ගේ  ඉල්ලීම් ටිකෙන් ටික හෝ ලබා දෙන්න සිදුවිය. එහෙත් 1980 වැඩ වර්ජනයෙන් පසු අගතියට පස් සාමාන්‍ය වෘත්තිකයින් වෙනුවෙන් කතා කරන්න කිසිවෙක් නොවීය. වෘත්තීය සමිති නායකයෝ කවදත් තම පංතිය පාවා දුන්නේය. එබැවින් ඔවුන් එකතැනම රැඳෙන්නට විය. විෂමතාවයන් උපරිම වුයේ එබැවිනි.
එසේම බලපෑම් කල හැකි විද්වත් පාර්ශ්වයන් විසින් තට්ටු මාරු ‍‍දේශපාලනයේදී මහජන මතය හැසිරවීමට දේශපාලකයින් සමග තමන්ගේ පතට ජනතාවට හොරා වැඩියෙන් යමක් බෙදා ගැනීමට එකඟතා ඇති කර ගැනීම සාමාන්‍ය දෙයක් බවට පත්වී ඇත. දේශපාලකයින්ද මැතිවරණයක් පාසා ඒ එකඟතා හරහා මහජන මතය හැසිරවීම සඳහා ඔවුන්ගේ මෙහෙවර ලබා ගනියි.

අද ඇති වී තිබෙන්නේද එම තත්වයමය. මෙය සෘජු‍ දේශපාලකයින්ට පමණක් දොස් නැගිය නොහැකි තත්වයකි. දේශපාලකයින් තමන් රැවටූ බව පවසන විට දේශපාලකයින් වෙනුවෙන් තම පාර්ශ්වයන් සමස්ත රට වැසියන්ම රැවටූ බව පිළි ගැනීමට ඔවුන්ට හැකියාව නොමැත්තේ අධ්‍යාපනය විසින් තනන්නේ මනුෂ්‍යත්වය මිය ගිය හෘද සාක්ෂියක් නොමැති විද්වත් රොබෝවරුන් නිසාද?. අද ඔවුන් පවසන්නේ තමන්ට ජිවත් විමට සෑහෙන වැටුපක් නොගෙවන බව නොවේ. එසේ කිව නොහැක්කේ සමස්ත රාජ්‍ය වෘත්තිකයින් අතර ඔවුන් දැනටද වැඩි වැටුප් ලබන්නන් බැවිනි. ඉතින් ඔවුන්ගේ ඉල්ලීම වන්නේ දේශපාලන අවශ්‍යතාවයන් අනුව රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල, බැංකු වැනි රාජ්‍යානුබද්ධ ආයතන වල ජනතා මුදල් වංචනිකව තමන්ගේ වැටුප් සහ වරප්‍රසාද වෙනුවෙන් කැත විදියට ලබා ගන්නන් හා තමන්වත් සමාන කරන ලෙසය. එහෙත් ඒ ආයතන වලද මුල් තැන් හොබවන්නේ එම විශ්ව විද්‍යාල වලින්ම එළියට පැමිණි විද්වතුන් හැරුණු කොට එසේ උගතුන් නොවන දේශපාලන අතකොඵ කිහිපයකි. මොවුන් මෙසේ වරප්‍රසාද භුක්ති විඳින්නේ මහජනතාවගේ ඉහමොළ සූරා කෑමෙනි. සාමාන්‍ය මිනිසාගේ බත්පතින් මංකොල්ල කෑමෙනි. ඔවුන් ලබන හැම වරප්‍රසාදයක් වෙනුවෙන්ම පොදු ජනතාව බදු ගෙවයි. ශ්‍රමය වගුරයි. මන්දපෝෂණයෙන් පෙළෙයි. කුසගින්නේ හිඳියි. මෙය මහත්ම පාපයකි. නිහීන ගෝත්‍රික ලක්ෂණයකි. එය සම්පූර්ණයෙන්ම මනුෂ්‍යත්වයට, ජනතාවට ආදරය කරන හදවත් ඇත්තන් විසින් පිටු දැකිය යුතු පිළිකුල් සහගත ක්‍රියාවකි. මන්ද රට වෙනුවෙන් උපයන්නන් නොවී සූරාකන්නන් පමණක් වීම කිසිවකට සමාන කල නොහැකි කැත මහ දවල් මංකොල්ලයක් වන බැවිනි.

ඉතින් විශ්ව විද්‍යාල විද්වත් ආචාර්යවරුන්ගේ ඉල්ලීම ඒ ගොඩට තමන්වත් ඇද දමන ලෙසය. වසර තිහක් හතළිහක් තුළ පෝෂණය කල ඇති නැති පරතරය නැති කිරීමට, තව තවත් දුක් විඳින මහජනතාවක් බිහි නොකිරීමට නොවේ. මේ කැත ක්‍රමයේ කොටස්කරුවන් වී ඒ මංකොල්‍ලයේ හවුල්කරුවන් වී සැප සම්පත් භුක්ති විඳීමය. ඇත්තෙන්ම ඔවුන්ගේ උගත්කම හෝ ලබාගත් අධ්‍යාපනය තුළින් මනුෂ්‍යත්වය වෙනුවෙන් සේවය කරන හදවත් නිමැවී ඇත්නම් සිදුවිය යුත්තේ අනෙක් අන්තය කරා ඔවුන් යොමු වීමය. ඒ සාමාන්‍ය වෘත්තිකයා සහ සමස්ත මහජනයා පීඩාවට ලක්කරන මේ කැත මංකොල්ලයට එරෙහි වීමය. කැත විෂමතා සහ මෙතෙක් පෝෂිත විෂමතාවයන් අවම කරමින් තමන්ව ගොඩ නැගූ මහජනතාව වෙනුවෙන් පෙනී සිටීමය. ඔවුන්ගේ හදගැස්ම, ජීවන රිද්මයේ කොටස් කරුවන් වීමය. එය දේශපාලකයින් සහ දේශපාලන අතකොඵ බවට පත්වූණු රාජ්‍ය නිලධාරීන්ගෙන් සිදුවීම සාමාන්‍ය දෙයකි. මන්ද දේශපාලනය යනු කොහොමත් අනෙකා මත බලය පැවත්වීමය. අනෙකා මත බලය පැවත්වීමටනම් අනෙකා තමන්ට වඩා දුබල විය යුතුය. දේශපාලනයේ කැත ස්වභාවය එයයි. එහෙත් අධ්‍යාපනය විසින් සිදුවිය යුත්තේ ඒ කැත ගෝත්‍රික ස්වභාවය පුද්ගලයා තුළින් ඉවත් කර මනුෂ්‍යත්වය ඉස්මතු කිරිමයි. එහෙත් සිදුවෙන්නේ එයද? ඇත්තෙන්ම නැත.
රාජ්‍ය අංශය සම්බන්ධයෙන්නම් දේශපාකයින්ටම දොස් නැගිය‍ නොහැක. මහින්ද රාජපක්ෂ මහතා පළමු වර බලයට පත්වුණු අවස්ථාවේ සියල්ලන්ටම සාධාරණ වැටුප් ව්‍යුහයක් සකස් කරන ලෙස අදාල පාර්ශ්වයන්ට අණ කලේය. ඒත් උගතුන්ගගෙන් සමන්විත තනතුරු හොබවන ඔවුන් කලේ තමන්ගේ උගත්කමේ මහිමයෙන් ඉලක්කම් හරඹයකි. ඒ ඉලක්කම් හරඹයෙන් පහළම වෘත්තිකයාට ඉහළ වැටුප් වැඩිවීමක් කල බව පෙන්වූවද ඔවුන්ගේ අතපත්වූයේ වැඩිවන ජීවන වියදමට අනුව ඉතාම සොච්චමකි. ඒත් මේ ඉලක්කම් හරඹකරුවන් තමන් සහ තමන් හා සමාන තනතුරු වලට බෙදා ගත්තේ ලොකු හැන්දකිනි. ඒ පොඩි එකාට කන් හැන්දකින් බෙදා රවටන අතරය. ඇත්තෙන්ම දේශපාලකයින්ටම වරදක් කිව නොහැක්කේ එබැවිනි. මේ රාජ්‍ය තනතුරු අතර මෙතරම් විෂමතාවයක් ඇති කර ඇත්තේ රාජ්‍ය ව්‍යුහයන්ගේ අරක්ගත් උගතුන් විසිනි. ඇත්තෙන්ම දැන් ඔවුන්ගේ ගෝත්‍රික ආශාවන් තෘප්තිමත්ය. තමන්ගේ සේවා ස්ථානයේම පොඩි එකා උදේට නොකා ඇවිත් තමන්ට සේවය කරද්දී ආණ්ඩුවේ බදු සහනයෙන්ම මිළදීගත් වාහනයෙන් ගොඩ බැහල උජාරුවෙන් එන විට ඔවුන්ගේ මනස තෘප්තිමත්ය. අනෙකා අපායේ නොසිටියොත් දිව්‍ය සම්පත්තිය ලැබීමෙන් වැඩක් නැත.‍ මන්ද තමන් විඳින සුවය දකින්න කිසිවෙක් නැත්නම් සැනසෙන්නේ කෙලෙසද?

ගම්මැද්දේ තට්ටු දෙකට ගෙයක් හැදුවම එහි ආඩම්බරය සතුට ලැබෙන්නේ වටේ පිටේ උන් අතුපැලවල් වල සිටියොත්ය. ඔවුන් බිය පක්ෂපාතව, ගෞරවයෙන් බලන්නේ නම් පමණකි. මෙය ශික්ෂණ නොලද පහත් මනුෂ්‍යත්වයේ ලක්ෂණයකි. රාජ්‍ය අංශය තුළ යුගයක් පුරා ජය ලැබුවේ මේ ගෝත්‍රික ආශාවන්ය.
එසේම තමන්ගේ හෝ රාජ්‍ය අංශයේ වැටුප් වැඩි කල පමණින් ජනතාවට සහනයක් නොලැබේ. එය ජනතාවට තවත් බරක් පමණකි. මන්ද ඒ සඳහා වැයවෙන වියදම සරිකර ගන්න රජය යොදන එකම ක්‍රියාමාර්ගය තව තවත් ජනතාව මත බදු බර පැටවීමය. සූරාකෑමය.
ඉතින් ආසියාවේ උසස්ම අධ්‍යාපනය මෙරට මනුෂ්‍යත්වය ගිලිමින් සිටියි. එහෙත් සැබෑ අධ්‍යාපනය ලැබූවෙක්නම් මනුෂ්‍යත්වයෙන්‍ පෙහොසත්ය. තමන්ගේ සතුට සැපය වෙනුවෙන් අසරණයින්ගේ රීරිමාංශ උරාගන්නා පෙරේතයන් ලෙස හැසිරිය නොහැක. විශේෂයෙන්ම නිදහස් අධ්‍යාපනයක් පවතිනවා යැයි කියන මෙ‍රටෙහි නම් අධ්‍යාපනය ලැබූවන් අසීමිතව ජනතාවට ආදරය කල යුතුය. එහෙත් යුගයක් පුරා ඔවුන්ගේ සැපත වෙනුවෙන් මහජනතාව සහ සාමාන්‍ය වෘත්තිකයෝ මංකොල්ලකෑමට ලක්කරන ක්‍රමයක කොටස්කරැවෝ බවට මෙරට උගත් තනතුරුලාභීන් පත්වී සිටියි.

ඇත්තෙන්ම අද රජයේ අනවශ්‍ය වියදම්, දූෂණයන් සහ නාස්ති කිරීම් ගැන මොවුන් අද ආයෙත් කසුකුසු ගාති. ඒත් පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් මහජන මතය සැකසීමේ දැවන්ත මෙහෙවරක නිරත වූයේ මේ විශ්ව විද්‍යාල ඇදුරන්මය. ඒ මහජනතාවගේ ජන මතය සොරා ගැනීම වෙනුවෙන් ඔවුන්ට ලොකු හැන්දකින් බෙදන බවට ව්‍යංගයෙන් ඇති කරගත් ගිවිසුම් මතය. ඒත් රටේ පැවැත්ම දන්නා ඔවුන්ගේ හෘද සාක්ෂිය හොඳටම දැන සිටින දෙයකි පවත්නා තත්වය  යටතේ තමන්ට හෝ රජයේ කිසිදු වෘත්තිකයෙක්ට ලබා දෙන වරප්‍රසාද වෙනුවෙන් මහජනයා අසීමිතව සූරාකෑමට ලක්වන බව. ඉතින් ව්‍යංග ඇඟවුම් ඉටු කරන්න තවත් මහජනයා සූරා කෑම අසීරු බව හරිහමන් ආදායමක් නැති රජය තේරුම් ගෙන ඇත. එහෙත් ඒ ශාපය වෙත රජය යොමුකර හෝ තමන්ගේ මල්ල තව ටිකක් පුරවා ගැනීම ඔවුන්ගේ උත්සාහයයි. ඒත් දැනටද සාමාන්‍ය වෘත්තිකයින්ට වඩා වැඩි වැටුප් ලබන ඔවුන්ටද අපිටද පාන් ගෙඩිය එක මිළය. වට්ටක්ක බෑය එක මිළය. තෘප්තිමත් නොවන්නේ උන්නතිකාමී මානසිකත්වයයි. ඇත්ත වශයෙන්ම දූෂණය,නාස්තිය,සූරාකෑම පිටු දකින්නේනම් දැන්වත් මහජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් ඊට එරෙහිව සටන් කල යුතුය. ඒත් මේ නාස්තිය, සූරාකෑම, දූෂණ එදාත් පැවැතිණ. ජනාධිපතිවරණයේදී දරදිය අදින විට මිහින් ලංකා වැනි ආයතන හරහා සිදුවුණ අසීමිත වැඩකට නැති නාස්තිය මොවුන් නොදැන සිටියා නොවේ. ඒත් තමන්ගේ මල්ල පුරවන බලාපොරොත්තුව දැල්වෙයිනම් නාස්තිය, දූෂණය, සූරාකෑම සිදුවුණාට කමක් නැත. එයින් කොටසකින් තමන්ගේ මල්ල නොපිරවෙන්නේනම් පමණක් බොරු කියන රජයට එරෙහිව වෘත්තීය ක්‍රියාමාර්ග ගත යුතුය. උගත්කමේ හරය එයය. විෂමතා ඇති කිරීමය. මනුෂ්‍යත්වය බෙදීමය. මහජනයා තව තවත් දුකට පත් කිරීමය.‍

ඉතින් බලපෑම් කල හැකි කාසියේ අනෙක් පැත්ත බැවින් ඔබලා ජය ලබනු ඇත. අර ඉහත කී මහදවල් මංකොල්ලකාරයින්ගේ ගොඩට ඔබලාත් වැටෙනු ඇත. මන්ද ඔබලා එරෙහි වන්නේ ඒ මංකොල්ලයට නොව එහි කොටස්කරුවන් බවට ඔබලාව පත්කර නොගැනීමය. ඔබලාගේම විශ්ව විද්‍යාලය හරහා බිහිකල තවත් හදවතින් මියගිය රොබෝවරයෙක් ඔබලාගේම ඇමැති වී කටමැත දෙඩවීම අපගේ හදවත් වලට සිනහ නැන්විය යුතු වුවද හෙම්බත්ව අඩපණව සිටිනා අපට සිනහවීමට ශක්තියක් නොමැත.
ඉතින් ඔබලාගේ සටන ජයගන්න. ඔබලාගේ දූ දරුවන්ගේ කුස් පුරවන්න. ඔවුන් ලොකු පාසල් වලට යවා ඔබලාගේම තත්වයට ගෙන එන්න. ඒත් දේශපාලනයේම කොටසක් වන ඔබලාගේ සැපත වෙනුවෙන් සූරාකෑමට ලක්වුණු සමස්ත ජනතාවගේ රුධිරය සහ කඳුඵ මත නිමවෙන ඔබලාගේ උන්නතිකාමයේ මාළිගා වල පවතින්නේ සැබෑ සතුටක්ද යන්න හැම විටම ‍විමසා බලන්න. අධ්‍යාපනය සහ දේශපාලනය විසින් නිමවන්නේ ඔබලාගේ ආදර්ශය ලත් ඔබලා වැනිම තවත් කොටසක් වන බැවින් ඉදිරියේදී තව තවත් ඔබලාගේම සහෝදර ජනතාව අසීමිත පීඩාවට පත්වෙනු ඇත (ඒත් ඔවුන් ඔබලාගේ සහෝදර ජනතාවක් ලෙස ඔබලාට නොදැනෙන බැවින් ගැටඵවක් නැත). ඔබලා සාධාරණය කියන්නේ එයටනම් එය සාධාරණ ලෙස අපි හිතන්නම්. මන්ද ඔබලා මෙන් නොව අප කිසිවක් නොදන්නා ඔබලාගේ අත්වල නැටවෙන රූකඩ බැවිනි. එහෙත් අවසාන වශයෙන් ඔබලා පසුපස සදාකාලිකව පැමිණෙමින් සිටින්නේ ශාපය පමණක් බව දෙවියන්, බුදුන් විශ්වාස කරන කවුරුත් එකවගේ එකම සතුටක ජීවත් වෙනු දකිනු රිසි හදවත් ඇති නූගත් මෝඩ අපි සිතන්නෙමු. සමහර විට එය අපේ නූගත්කම විසින් ඇති කරනු ලබන හැඟීමක් බැවින් එය ඔබලා කොහෙත්ම ගණන් නොගන්නා බව අපි දනිමු. ඔබලා කිසිදා අපේ හදවත් වලට සවන් දීමට නොහැකි උසක සිට අපව හසුරුවමින් ඉන්න කැමැත්තෝ බැවින් ඔබලාගේ සංවේදී බව ගැන අපි දුක්වෙන්නෙමු. ඒ අනාගත අපේ දූ දරුවන්‍ වෙනුවෙ‍නි.
වරද කොතනැද?


No comments: