May 19, 2011

පිළිවෙතින් පෙළ ගැසීමේ දේශපාලනය



රජු සොරකම් කරන්නවුන් හිස් සිඳුවා මරවන බව ඇසූ මිනිස්සු අපි යම් කෙනෙකු ගේ ධනය පැහැර ගනිමු නම්, ඒ ධන හිමියන්ගේ හිස් සිඳිමුයි තියුණු ආයුධ සාදාගෙන ගම් නියම් ගම් කොල්ලකෑමටත් ධන හිමියන් හිස් සිඳ මරන්නටත් ගත්හ. මෙසේ දිළිඳුකම වැඩි වීමෙන් නොදුන් දේ සොරාගැනීම වැඩි වීමත්, එයින් ආයුධ දැරීම වැඩිවීමත් ඒ නිසාම ප්‍රාණඝාතය වැඩිවීමත් නිසා මිනිසුන් ගේ ආයුෂයද වර්ණයද පිරිහිණි. අසූ දහස් අවුරුදු ආයුෂ ඇති මිනිසුන් ගේ දරුවෝ අවුරුදු හතළිස් දහසක් ආයුෂ ඇත්තෝ වූහ.
අනතුරුව එක්තරා මිනිසෙක් අන්සතු දේ සොරකම් කළේය. රජු ඉදිරියට පමුණුවනු ලැබූ ඔහුගෙන් තෝ සොරකම් කළේ සැබෑ දැයි ඇසූ විට නැත දේවයන් වහන්ස යැයි බොරු කීවේය.
මහණෙනි, මෙසේ ධනය නැත්තවුනට ධනය නොදීමෙන් දිළිඳු බවද, සොරකමද, ආයුධ දැරීම ද, ප්‍රාණඝාතයද, මුසාවාදයද වැඩි වීමෙන් මිනිසුන්ගේ ආයුෂ ද වර්ණයද පිරිහිණ. හතළිස් දහසක් ආයුෂ ඇති මිනිසුන්ගේ දරුවෝ විසි දහසක් ආයුෂ ඇත්තෝ වූහ. එකල්හි එක්තරා මිනිසෙක් අන්සතු දේ සොරකම් කළේය. එය දුටු වෙනත් පුරුෂයෙක් අසවලා සොරකම් කළේ යැයි කේළාම් කීයේය. මහණෙනි, මෙසේ ධනය නැත්තවුනට ධනය නොදීමෙන් දිළිඳු කමද, සොරකමද, ආයුධ දැරීමද, ප්‍රාණඝාතයද, මුසාවාදයද, කේළාම් කීමද, වැඩි වීමෙන් මිනිසුන්ගේ ආයුෂද වර්ණයද පිරිහිණ. විසි දහසක් ආයුෂ ඇති මිනිසුන් ගේ දරුවෝ අවුරුදු දස දහසක් ආයුෂ ඇත්තෝ වූහ.

බුදු රජාණන් වහන්සේගේ දේශණාව එපරිදිය. මනුෂ්‍ය ආයුෂ මෙන්ම සියඵ පරිහාණියන්ගේ වර්ධනය සිදුවන ආකාරය උන් වහන්සේ මැනවින් දේශණා කොට ඇත.
ඕනෑම සමාජයක පරිහාණියට හේතු වන්නේ විසංතුලනයයි. එනම් පරතරයන් අධික වීමයි. එම පරතරයන් තුළිත කිරීම සඳහා මනුෂ්‍යත්වයට නොගැලපෙන ලෙස ක්‍රියාකාරී වන මිනිසා පිරිහුණු අධ්‍යාත්මයකට ඇද වැටෙයි. කෙමෙන් කෙමෙන් සමාජයද ඒ පිරිහුණුභාවයට ඇද වැටෙයි. ඉතින් බුදු වදන් අනුව හෝ බුද්ධ දර්ශණය අනුව හැඩ ගැසීම සම්පූර්ණයෙන්ම වාගේ පිළිවෙතින් සමතුළිතය වෙත ගමන් කිරීමක් විය යුතුය.

ඒ වෙනුවට පිළිවෙතින් පෙළගැසෙමු යනුවෙන් වචන දෙකක් ජනප්‍රිය කිරීම හරහා නිකම්ම දේශපාලනික ආකාරයේ ආත්ම වංචාවක් මෙන්ම සමාජ වංචාවක් තුළට බුදුන්ගේ දැක්ම ලඝු කරන්නේනම් ඔවුන් කිසිදා බුදුන්ගේ අනුගාමිකයෝ හෝ ශ්‍රාවකයෝ විය නොහැකිය.
එසේ කරනවා වෙනුවට සමාජයේ මෙන්ම පුද්ගලයාගේද පිරිහීමට හේතු සාධක වූ කාරණයන් තමන් තුළින්ම පිටු දැකීම උදෙසා අතිමහත් අවංකභාවයකින් කටයුතු කල යුතුය. එහෙත් එවැන්නක් කිසිදා මෙරටෙහි සිදු නොවිණ. බුදුන්ගේ දර්ශණය තුළින් තමන්ගේ ලෞකික මුදුන් වීමේ අභිප්‍රායයන් සඵල කර ගැන්මට අමන උත්සාහයක නිරත වීමෙන් එම දර්ශණය හෑල්ලුවට ලක් කිරීම අදත් සිදුවේ. සම්පූර්ණයෙන්ම තථාගත දර්ශණය දේශපාලනීකරණය වී ඇත. එබැවින් තථාගත දර්ශණය අනුවම සමාජය සහ පුද්ගලයා තව දුරටත් මේ ආත්ම වංචාව, බොරුව තුළින් තව තවත් පරිහාණියටම ගමන් කරනු ඇත.

2600 සම්බුද්ධ ජයන්තිය නිමිත්තෙන් පිළිවෙතින් පෙළගැසෙමු යනුවෙන් රටපුරා තොරණ ඉදිකළාට, බෝධි පූජා පැවැත්වූවාට, පිරිත් සජ්ජායනය කළාට පමණක් වැඩක් නැත. ඒ සියල්ල සැබෑ පිළිවෙත නොවේ. එසේම ඇමැති වරු මාධ්‍ය ඉදිරියේ තට්ටය ගාගෙන, ප්‍රාඩෝ එකෙන් ගිහින් සතියකට සිල් රෙද්දක් පොරව ගත්තට වැඩක් නැත. ඒ සියල්ලම මමත්වය විශාල කරවන අභිලාෂයෙන් කරනු ලබන කෛරාටිකකම් පමණි. පාලකයින් සිරි සුභ වෙසක් මංගල්‍යයක් වේවා කියල මහජනයාට එස්එම්එස් යැවීමෙන්ද ඵලක් නැත. ඒ සියල්ල මමත්වය තව තවත් මුදුනට ගෙනයාමට මහජනයා රැවටීම සඳහා කරන ක්‍රියාකාරකම් පමණි.
සැබැවින්ම පිළිවෙතින් පෙළ ගැසීම අවශ්‍ය වන්නේනම් මෙවැනි ජනප්‍රිය දේවල් වෙනුවට කෙළින්ම තමන්ගේ හදවත තුළින් බුදුන් වදාල මනුෂ්‍යයාගේ සහ මනුෂ්‍යත්වයේ පරිහාණියට තුඩු දෙන ඉහත සඳහන් විසංතුලනයන් සංතුලනය වෙනුවෙන් පෙළගැසිය යුතුය.

අද මේ සමාජය තුළ ඇත්තෙන්ම ප්‍රාණඝාතය, සොරකම, බොරුව, රැවටීම, කේළම, සුරාව, සූරාකෑම, දූෂණය මෙතරම් මුදුන් පත් වී ඇත්තේ ඇයිද යන්න සලකා බැලිය යුතුය. ඒ සියල්ල සඳහා නායකත්වය සහ ආදර්ශය සපයන්නේද ‍දේශපාලකයින්මය. ඔවුන් ඒ කාර්යයේදී නම් ඉතාම අවංක වෙති. ඒ සියල්ල තමන් තුළින්ම නොදකිමින් මේ සාරධර්ම පිරි සමාජයකැයි පවසමින් තවත් මුසාව තුළ ගිලී යෑම වෙනුවට සැබැවින්ම පිළිවෙතින් පෙළගැසීම දැන්වත් ඇරැඹිය යුතුය. ඒත් එය හෙටවත් සිදුවෙයිද? තථාගත‍ දේශණයට සැබෑ පැවත්මක් ලැබෙයිද?

එසේ නොවන්නේනම් ඒ සියල්ල දේශපාලනයම පමණි.  


No comments: