May 28, 2011

විකල්ප නායකත්ව පුහුණුවක්..

විශ්ව විද්‍යාල වලට තෝරා ගන්නා සිසු සිසුවියන්ට ලබා දෙන නායකත්ව පුහුණුව සම්බන්ධයෙන් බ්ලොග් අඩවි කිහිපයකම පසුගිය දිනවල ලිපි පල වී තිබුණා. එම ලිපි සහ ඒවාට දක්වා තිබූ පාඨක අදහස් අනුව මේ සම්බන්ධව පහත මතවාද වල සිටින කණ්ඩායම් දැකිය හැකියි.


1. මෙම වැඩසටහන, රජය විසින් දියත් කෙරෙන තවත් යහපත් වැඩපිළිවෙලක් ලෙස සැලකීම (රජය කරන ඕනෑම දෙයක් නිවැරැදි ලෙස අදහන කණ්ඩායම)
2. මෙම වැඩ සටහන සම්පූර්ණයෙන්ම, ගැටඵ විසඳාගැනීමට අපොහොසත් අදාල ඇමැතිවරයා සහ රජය විසින් කරනු ලබන තවත් හත්පොලේ ගා ගැනීමක් බවට පිළිගන්නා කණ්ඩායම
3. සිසු සිසුවියන් විනය ගත කිරීම සඳහා මෙවැනි හමුදාමය වූ විනය වැඩ පිළිවෙලක් වැදගත් බවට පිළිගන්නා කණ්ඩායම


කෙසේ වෙතත් මෙම පිළිගැනීම් සමගම ඉදිරියේදී ඇති කරන ජාතික පාසල් වැඩසටහන ය‍ටතේ විදුහල්පතිවරුන්ටත් හමුදා කඳවුරක පුහුණුවක් ලබා දීමට ‍කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පවසා තිබිණි. ඔහු පවසා තිබුණෙ විදුහල්පතිවරුන් තාප්පයක් උඩින් පනින්නවත් හැකියාවක් නැති අය බවයි. සැබැවින්ම දැනට තාප්ප උඩින් නොපැන ගේට්ටුවෙන් පිටවී යනවානම් විදුහල්පතිවරුන් දැනටම සිටිය යුතු තැන සිටින බව පැහැදිලියි. ගේට්ටුවෙන් යන එන  විදුහල්පතිවරුන් තාප්ප උඩින් පනින අශීලාචාර, අක්‍රමවත් මිනිසුන් කොටසක් බවට පත්විය යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශයේ  ලේකම්වරයාට වැටහීම සුබ අනාගතයක් සඳහා යහපත් පෙරනිමිත්තකි. කෙසේ වුවත් තාප්පයකින් පනින්න විදුහල්පතිවරුන්ට පණ නෑ කියන්නේ අඩුම වශයෙන් කෙළින් ඇවිද ගන්නවත් බැරි පුද්ගලයෙක් වීම ගැනනම් සිතා බැලිය යුතුයි.


කොහොම වුණත් මේ වන විට පශ්චාත් යුද මානසිකත්වය විසින් බිලිගෙන ඇති මෙරටෙහි සමාජ මනස සියල්ල මිලිටරිකරණයෙන් ජය ගත හැකි බවට සිතීම අරුමයක් නොවේ. එහෙත් යුද්ධයේදී සිදුවුණේ පරාජය කර යටපත් කිරීමක් බවත් අප යා යුත්තේ සියල්ලන් එක්ව ලෝකය ඉදිරියේ නැගී සිටීමට බව ‍බොහෝ අයට අමතක වී ඇත.
බාහු බලයෙන් විනය ගත කිරීම ප්‍රායෝගිකව කල නොහැක්කක් වන අතර එය මර්ධනය කිරීමක් පමණි. ඒ මර්ධනය කිසිවිට බාහිර විනයක් මිස කිසිවෙක් තුළ අභ්‍යන්තර විනයක් ඇති කරනු නොලබයි. ශරීර ශක්තිය පාලනය කිරීම තුළින් විනය ගත කිරීම හුදෙක්ම බාහිර විනයක් පමණි. යුධ ජයග්‍රහණය නිසා දැනට සන්නද්ධ හමුදා වලට ලැබුණු ප්‍රසාදය නිසා යටපත් වී තිබුණද පසුගිය සමයේ කඳවුරු වලින් පිටතදී හමුදා විනයගත කළවුන්ගෙන් සමාජ දූෂිත දේවල් අපමණව සිදුවුණා. කඳවුරු වලින් පිටත සමාජ ජීවිතයේදී ඔවුන් තමන්ගේ සන්නද්ධ හමුදා බලය පෙන්වා සිවිල් සමාජයේ පුද්ගලික වාසි අත්කර ගැනීමට පෙළඹීම මෙන්ම, බොහෝ අවස්ථාවල රට තුළ සිදුවුණු හොරකම්, මැරකම්, දූෂිත දේවල් වල ප්‍රධාන කොටස් කරුවෝ බවට පත්වීම සුලභ දෙයක් වුණා. ඉතින් මේ හමුදාගත විනය හුදෙක්ම කඳවුරු වලට පමණක් සීමා වූ දෙයක් පමණයි. ඒ වගේම ඒ විනය තුළ පවතින්නෙ සිවිල් පුරවැසියන්ට වඩා බාහු බලයෙන් සහ එඩිතර බවින් සහ බොහෝ දේවලින් තමන් ඉහළයි ලෙස මනසට තෙල බෙදීමක් වෙයි. එය සම්පූර්ණයෙන්ම ආරෝපණයකි. පුහුණුව තුළ බාහු බලය ඉස්මතු කිරීමට හැකිවීම පමණක් සත්‍යයකි. එහෙත් ඒ තුළින් පුද්ගලයා විනයගත වීමක් සිදුවී නැතැයි අද වුණත් රටපුරා සිදුවෙන දේවල් දෙස ඇස් හැර බලන්නේනම් පෙනෙනු ඇත. පසුගිය දින මාතර නඩුකාර උන්නාන්සේට උත්තර නැති වෙන්න බාහු බලයෙන් සලකා තිබුණේ මේ විනයගත වූවායැයි කියන හමුදා නිළධාරීන් පිරිසක් විසිනි. එය තමය මනසට බෙදා ඇති තෙලෙහි ස්වභාවය. උත්තරීතර අධිකරණයේ විනිසුරුවරයා වුවත් ඔවුන්ට ලොකු නැත. රටේ නීතිය හසුරුවන්නන්ට එසේ සලකයිනම් මේ විනයගත වීම සිවිල් සමාජයට අදාල නොවන බව පෙනී යන දෙයකි. මේ ආසන්න එක උදාහරණයක් පමණි.


ඇත්තෙන්ම විනය ගත පුහුණුවක් සියඵම රටේ දරුවන්ට ලබා දිය යුතුය. එහෙත් මෙවැනි පටු දේශපාලනික අරමුණු වෙනුවෙන් නොවේ. එය බාහු බලයත්, කයෙහි කාර්යක්ෂමතාවයත් ඇති කිරීම තුළින් කරන විනය ආරෝපණයක් පමණක් නොවිය යුතුය. එය අහිතකර ප්‍රතිඵල ඇතිකරනු ඇත.
විදුහල්පතිවරුන්ට උස මහත දරුවන්ට බය නොවී පහර දීමට හැකියාව ලබා දීම වැඩක් නැත. බාහු බලය නැති වුවත් පෞරුෂයෙන් යුතු අධ්‍යාත්මයක් ඇති ගුරුවරුන් ළඟ දරුවන් හීලෑ වනු අප දැක ඇත. අපට පහර දෙන සැර පරුෂ ගුරුවරුන්ට වඩා අවංක දයාවෙන්, කරුණාවෙන් පෞරුෂයක් ගොඩනගාගත් ගුරුවරුන් ළඟ වැරැද්දක් කර හසුවුන විට අතිමහත් ලැජ්ජාවක්, වරද සහගත බවක් අපිට අතීතයේදී දැනී ඇත. සැඩ පරුෂ ගුරුවරුන්ගෙන් එක වරක් පහර කෑවද ඊළඟ වතාවේ හසුනොවන ලෙස ඒ වරදම කිරීමට අපි‍ පෙළඹුනෙමු. ඔහුට අපිව විනයගත බව පෙනුනද සැබවින්ම අපි ඔහු ළඟ විනයගත වූවන් නොවුණෙමු.


හමුදා විනය තුළ වෙලාවට අවදිවීම, වෙලාවට වැඩ කිරීම, කම්මැලිකම දුරුවීම, ඈලිමෑළි ගති දුරුවීම වගේ දේවල් ඇති වන බවත් එය ජීවිතය වෙනස් කරන බවත් ඉහත සඳහන් කල තුන්වැනි කණ්ඩායම දරණ ලද අදහස විය. එය ඇත්තකි. ඒත් එය හැමෝටම පොදු වූවක් නොවී සිවිල් සමාජය ඉදිරියේ වඩාත් විනය විරෝධීන් කොටසකුත් ඔවුන් අතරින්ම බිහිවන්නේ එය හුදෙක්ම කායිකමය තත්වයේ වන නිසාය.


එම පුහුණුව නොලදත් මේ ලියුම්කරුද වෙලාවට අවදිවෙයි, වෙලාවට වැඩකරයි, කුසීත කම දුරු කර ඇත. පිළිවෙලට වැඩ කරයි. කායික වශයෙන්ද සෞඛ්‍ය සම්පන්නය. ඒ කිසිවෙකුගේ අණක් පිළිපැදීමකින්‍ නොවේ. ලැබුණු සිවිල් බලයක් නිසාත් නෙවෙයි. ඒත් විනයගත පුහුණුවක් ඔස්සේමය. ඒ පුහුණුව ලැබුවේ හමුදා කඳවුරක් තුළ නම් නෙවෙයි. නිහඞතාවය තුළයි. එය මූලික වශයෙන් මාස තුනක් අඛණ්ඩව සිදු කෙරිණ. එය සම්පූර්ණයෙන්ම අනෙකුන් ඉදිරියේ ශක්තිමත් වන්නෙකු හෝ කැපී පෙනෙන පුද්ගලයෙකු වීම පිණිස වූවක් නොවේ. ඒ පුහුණුවේදී සම්පූර්ණයෙන්ම අනෙකා අමතක කොට තමාගේම ස්වභාවය අවබෝධ කරගැන්මක් සිදුවුණි. එය සම්පූර්ණයෙන්ම අධ්‍යාත්මික වූවක් වන අතර  කායික ශක්තියද එතුළින් තිරවිය. එසේම එකිනෙකා පරයා යන උන්නතිකාමී ආශාවන්ගේ මෝඩ ස්වභාවය අවබෝධ කරගැන්මට ඒ පුහුණුව සහ ඉන් අනතුරුව නොකඩවා කරන්න ආශා හිතෙන ක්‍රියාකාරකම් පුයෝජනවත් විය. තවදුරටත් ප්‍රයෝජනවත් වේ. තමන් තුළ නිවුණු සැනසුණු පුද්ගලයෙකු බිහි වන විට බලෙන් ඇති නොකරන ලද ස්ථාවර විනයක් කොහෙන්දෝ පැමිණ ලැගුම් ගෙන තිබේ. එය සම්පූර්ණයෙන්ම තමාටම අවංක වීමකි.
මෙවැනි පුහුණු තවත් සමහර රට වල සිදුවී තිබේ. චීනය විසින් ආක්‍රමණය කිරීමට පෙර ටිබෙටය තුළ දරුවන් මේ විනයගත කිරීමට යොමු කෙරිණ. එනිසාම සියවස් ගණනක් ලෝකය ඉදිරියේ ටිබෙටය පැවතුණේ විශාල සාමයක නිසා එවැනි රටක් ගැන ලෝකයට අමතක වී තිබිණි. ඒත් හමුදාගත විනය තුළින් උන්නතිකාමී සමාජවාදී චීනය විසින් තමන්ගේ මනුෂ්‍යත්වයේ විනය කොයිතරම් පහත්ද යන්න ‍පෙන්වූයේ සාමකාමී ටිබෙටය ආක්‍රමණය කිරීමෙනි. අදටත් නියමිත පරිද විනයගත වූ ටිබෙට් නායක දලයි ලාමා තුමා සංයමයෙන් සහ වෛරයෙන් තොරව තමන්ගේ රටට නිදහස සොයමින් සිටියි.
සත්‍ය වශයෙන්ම කායික විනය පමණක් වැඩකට නැත. එය අනර්ථකාරීය. අධ්‍යාත්මික විනය ඊට ඇතුළත්වූ පසු පමණක් විනය ගත කිරීමට වෙහෙසීමක් නැතිවම විනය පුද්ගලයා තුළට පැමිණෙයි. එය බලෙන් ආරෝපණය කිරීමක් නොවන අතර ස්වභාවිකව සිදුවෙන්නකි.
ඒ විනය ජීවිතයේදීත්, මරණයේදීත් කෙනෙක්ට සුවය ගෙන එයි. ‍එසේම සමාජයක් මනුෂ්‍යත්වයෙන් පොහොසත් කිරීමට අවශ්‍ය අදේශපාලනික සංයමය, අවංක බව එතුළින් පුද්ගලයා තුළට පැමිණේ.
එහෙත් මේක දේශපාලනයේ රඟමඩලයි. මෙහි සිදුවන සියල්ල මනුෂ්‍යත්වයට එරෙහිවයි.

2 comments:

කතන්දර Kathandara said...

ටිබෙට් නායක දලයි ලාමා තුමා is now retired.

Chanaka Aruna Munasinghe said...

මෙන්න ඔය නායකත්ව පුහුණු දෙක ගැන මම ලියපු ලිපි දෙක

1.සරසවි සිසුන්ට දෙන පුහුණුව
http://status-chanaka.blogspot.com/2011/05/blog-post_9565.html
----

2.විදුහල්පතිවරුන්ට දීමට යෝජිත පුහුණුව
http://status-chanaka.blogspot.com/2011/05/blog-post_26.html