May 21, 2011

නායකත්ව පුහුණුව සහ නිදහස් අධ්‍යාපන බොරුව

සරසවි සිසුන්ට ලබා දෙන්න නියමිත නායකත්ව පුහුණුව නමින් වූ හමුදා පුහුණුව එපරිදිම පවත්වන බව උසස් අධ්‍යාපන ඇමැතිවරයා පවසා ඇත. එය හුදෙක්ම ඇමැතිවරයාගේ අත්තනෝමතික අවශ්‍යතාවයක් මිස අධ්‍යාපනයේ අවශ්‍යතාවයක් නොවන බව පෙනී යයි. උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය වැනි විෂයක් භාරව කටයුතු කල යුත්තේ සැබැවින්ම බුද්ධිමත්ව කටයුතු කල හැකි අමාත්‍යවරයෙක් වුවත් එය නිකම් නිකම් වැඩකට නැති ජෝකර් කෙනෙකු අතට පත් කිරීමට රජය කටයුතු කර ඇත. 
උසස් අධ්‍යාපනයේ අවශ්‍යතාවයක් නොවන මෙවන් පුහුණුවක් බලෙන් සිසුන් මත පැටවීම නිදහස් අධ්‍යාපනය කියන සංකල්පය තව දුරටත් නිදහස් නොවන බවට සාක්ෂියකි. එසේම දැනට උසස් අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලබන්නන් වසරකට ලක්ෂයකට අධික වන නමුත් එයින් හතරෙන් එකක් වන ප්‍රමාණයකටවත් තමන්ගේ අධ්‍යාපන අයිතිය සඵල කර ගැන්මට අවස්ථාව සැලසීමට මෙරට විශ්ව විද්‍යාල පද්ධතිය අපොහොසත්ව තිබේ. එබඳු තත්වයක් යටතේ මෙතෙක් පැවැති බාහිර උපාධි ලියාපදිංචියද අත්හිටුවීම මෙසේ තම අයිතිය අහිමි වූ සිසුන්ට යන්න තිබුණු අතුරු මාර්ගද වසා දැමීමකි. ඒ සම්බන්ධව අමාත්‍යාවරයා කියා තිබුණේ බාහිර උපාධිකාරයෝ කාළකණ්නි කොටසක් බවයි. ඔවුන්ගෙන් සමහරුන් සාමාන්‍ය පෙළ ගණිතය පවා අසමත් බවයි. එහෙත් බාහිර උපාධි සඳහා ලියාපදිංචි කිරීමේදී අවශ්‍ය සුදුසුකම් නිවැරැදිව තහවුරු කර ගැනීම හෝ අදාල උපාධිය සඳහා වන විෂය නිර්දේශයන්ගේ ගුණාත්මකභාවය පවත්වා ගැනීමද සිසුන් සතු කාර්යයක් නොවන අතර, එය පරිපාලනය සතු වගකීමකි. ඒ අනුව සැබෑ කාළකණ්නි බාහිර උපාධි ලබන සිසුන්ද නැත්නම් එය කළමනාකරණය කරන පරිපාලනයද යන්න තේරුම් ගැනීමටනම් මොළයක් ලෙස කිසිවක් හිස තුළ තිබිය යුතුමය. එසේම විශ්ව විද්‍යාල වලින් බිහි කරන්නේ රස්තියාදුකාරයෝ, ගංජ කාරයෝ බවද එයට විශ්ව විද්‍යාල ආචාර්යවරු වගකිව යුතු බවත් එස්බී ඇමැතිවරයා පවසා තිබුණි. එහි යම් සත්‍යයක් ඇති බවට තහවුරු කරගැන්මට සරල සාධාරණ උදාහරණයක් ලෙස මෙම ඇමැතිවරයාම ගත හැක.
උසස් අධ්‍යාපනයට හිමිකම් ලබන සිසුන්ගෙන් අඩකටවත් තමන්ගේ අධ්‍යාපන අයිතිය තහවුරු කර ගැන්මට බැරි තත්වයක් යටතේ පවතින්නේ නිදහස් අධ්‍යාපනයක්ද යන්න විමසීමට ලක්කල යුත්තකි. එසේම පාසල් අධ්‍යාපනය තුළ නොමිළේ අධ්‍යාපනය ලබා දෙන බව ඇත්තක් වුවත් නිසි අධ්‍යාපනයක් සියල්ලන්ටම එකසේ ලැබෙන්නේ නැත. නාගරික පාසල්වල  අධ්‍යාපනය පදනම් කරගෙන කොළඹ ඉන්න මහාචාර්යවරු තමන්ගේ බුද්ධි මහිමය පෙන්වීමට සකසන ප්‍රශ්ණ පත්‍රයක් තුළින් රටේ සියඵම සිසුන්ගේ අධ්‍යාපනික තත්වය අභියෝගයට ලක් කිරීම අසාධාරණ විහිඵවක් පමණි. නගර වලින් ඈතට යන විට එම ප්‍රශ්ණ පත්‍ර වලින් අභියෝගයට ලක් කරන දැනුමෙන් අඩක් වත් ලබා ගැනීමට දරු දැරියන්ට අවස්ථාවක් නැත. මේ ඉහළ අධ්‍යාපනික තරඟකාරිත්වය සහ ඉගැන්වීම නැති දුෂ්කර ඈත පාසල් තුළ සිටින දරු දැරියන්ට තවමත් මේ ප්‍රශ්ණ පත්‍ර වලින් විමසන දැනුම ලබා ගැනීම සිහිනයක් පමණි. ඊට අවශ්‍ය ගුරුවරු තම පාසල් වල නැත. ගුරුවරු සිටියත් සමහර ගුරුවරුන් අවශ්‍ය මුඵ දැනුමම ලබා දීමට අපොහොසත්ය. ඔවුන්ට නගර වල මෙන් එසේ පාසලෙන් නොලැබෙන අධ්‍යාපනය ලැබීමට ටියුෂන් කඩ නැත. දුරින් වූ නගරයේ ටියුෂන් යාමට අවශ්‍ය ආර්ථික ශක්තිය බොහෝ දරු දැරියන්ට නැත. අවම වශයෙන් විෂයන්ට අදාල පොතපතවත් සොයා ගැනීම දුෂ්කරය. අලුත් තාක්ෂණය හරහා ලබන දැනුම ඔවුන්ට අහිමිය. ඇත්තෙන්ම ඔවුන්ට ලැබෙන අධ්‍යාපනයේ සහ මේ කොළඹ ඇතුඵ ප්‍රධාන නගරවල දරු දැරියන්ට ලැබෙන අධ්‍යාපනයේ ඉතාම ඉතා ‍ලොකු වෙනසක් ඇත. ධනය හිඟ නැත්තවුන්නම් කෙසේ හෝ තම දරුවන් මේ තරඟයෙන් ගොඩ දැමීමට තමන්ගේ සල්ලි විසි කරති. ඒත් අවසානයේ ඔවුන්ගේ දැනුම සහ එයින් අඩකවත් දැනුම, අධ්‍යාපනය හරහා නොලැබුණ දරුදැරියන්ගේ දැනුම එකම විභාග අභියෝගයකින් මනිනු ලැබේ. ඇත්තෙන්ම මෙය නිදහස් අධ්‍යාපනයක් නොවේ. නොමිලේ පාසල් අධ්‍යාපනයක් ලබා දෙන බව පැවසූ පමණින් මෙය නිදහස් අධ්‍යාපනයක් විය නොහැක. පාසල් විවෘත කර තිබුණද අභියෝගයට ලක්කරන සියඵ දැනුම ඒ තුළින් නොලැබෙන්නේනම් එය නිදහස් අධ්‍යාපනයක් නොවේ. මෙය ඉතාම අසාධාරණ ක්‍රමවේදයකි. ඒ අසාධාරණ ක්‍රමය තුළින් හෝ උසස් අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලබන සියඵ සිසුන්ට තම අධ්‍යාන අවශ්‍යතාවය ඉටු කර ගැනීමට අවකාශ සැපයීමට උසස් අධ්‍යාපන බලධාරීන් වගේම විශ්ව විද්‍යාල පද්ධතිය ‍අපොහොසත්ව ඇත. මේ කරමින් සිටින්නේ කොටසක් වෙන්කර ඔවුන් සුපිරි බවට පත්කර බහුතරය පාලනය කරන්නවුන් බවට පත්කරන දේශපාලනයම මිස වෙන කුමක්ද?
අවසාන වශයෙන් ඔවුන්ට තිබුණු බාහිර උපාධි අපේක්ෂාවද කප්පාදු කර ඇත්තේ තමන්ගේම දුර්වලකම් වසා ගැනීමට නොහැකිව එය එම අධ්‍යාපනය ලබන්නවුන් මත වපුරමිනි. එහෙත් ලංකාවේ බාහිර උපාධිය ලබා නොගෙන විශ්ව විද්‍යාල වලට නොතේරුණද තමන්ගේ මුදල් බලෙන් විදේශ විශ්ව විද්‍යාල වලින් අධ්‍යාපනය ලබා උපාධි රැගෙන විත් ලංකාවේ රාජ්‍ය සේවයේම ඉහළ තනතුරු ඇතම්හූ දරති. ඔවුන්ගෙන්ද සමහරුන් සාමාන්‍ය පෙල ගණිතයවත් සමත් නැත. ඒත් එස්බීට එය නොපෙනෙන්නේ හොර පාරෙන් ගමන් කිරීම ධනවතුන්ට කැප වන අතර දුබලයන්ට අකැප ලෙසට මෙ‍රටෙහි හැම ක්ෂේත්‍රයකම පවතින ක්‍රමය ඔහුද හිස් මුදුනින් පිළිගන්නා නිසාය. ඇත්තෙන්ම නිදහස් අධ්‍යානය කියා දෙයක් ‍තව දුරටත් නැත. එය බොරුවකි. මෙතැන පවතින්නේ දේශපාලනික අභිමථාර්තයන් පමණි.

2 comments:

ලකී said...

කිවයුතු සියල්ල කියා තිබේ. නමුත් අවබෝධ කරගැනීමට තරම් බුද්ධියක් ඇත්තේ සීමිත පිරිසකටය.

Anonymous said...

ඈත්ත මේක මෑනික් යට ගිගින් ගොම රිටි උඩඵන කාලේ වෙලා.